15 October 2011

අළුත් සෑර් හා ලොකු අයියලාගෙ බස් රැග් - 01

 සිංහලෙන් කතා කරන්න තියා මේ පළාතෙ සිංහල කෙනෙක් දකින්නවත් නැති නාදුනන රටක ඉද්දි, විස්සවිද්‍යාලයට නන්දුට යන්න වෙන්නෙ තනියම‍... සීත කාලෙ පටන් ගන්න ලඟ නිසා බස්එකේ වීදුරු, කවුළු ඔක්කොම වහගෙන තමයි මේ කාලෙට බස් ධාවනය වෙන්නෙ...එයාර්ටයිට්බස් එකේ හැතැප්ම ගානක් දවස ගානෙ ගියත් වංගු 47ක් පහුකරලා ගෙදර ලඟට එද්දි නන්දුට හොඳ ගණන්...  නන්දු ආව බස්එකට ස්කෝලෙ ඇරිලා මගින් ගොඩවුණ ළමයි ගොඩක්ගෙ සෙල්ලම් දැකලා නන්දුටත් නන්දුගෙ පාසැල් බස් එක මතක් වුණා.. හැබැයි මෙහෙ ස්කෝල වල විනය අතින් නම් අන්තිමයි.. ලංකාව ගැන සතුටක් හිතේවී.. ඒ ගැන කියොව්වොතින් නම්.. මං ඒ ගැන වෙනම පෝස්ටුවක් දාන්නම්කෝ.. :) ඔන්න එහෙනම් අළුත් සෑර් හා ලොකු අයියලාගෙ බස් රැග්කතාවට...
-------------------------------------------------------------------------------------------------------------
මතකනෙ අළුත් සෑර්ව.. ඔව් ඔව් අතිවිශිෂ්ඨ කෑම... :D දැන්නම් ලංකාවෙ තියනවද කියනම් නන්දු දන්නෙ නැහැ.. ගොඩක් කාලෙකින් නන්දු ලංකාව පැත්තටනම් ගොඩ බහින්න බැරි වුණා.. ඉගෙනීම් වැඩ කටයුතු නිසාම තමයි... :( මේ කතාව ඔය කෑම හා සම්බන්ධ රැග් කෑමක්.. :D
නන්දු හොස්ටල් ජීවිතෙන් අයින්වෙලා බැස්ටියාගම ඉදන් මුතුපුරට ස්කෝලෙ යන කාලෙ අපිටම කියලා විශේෂ ස්කෝලෙ බස් එකක් තිබුණෙ නැහැ. ඒත් උදේ 6.00ට ගෙදර ඉස්සරහින් යන බස් එකත්.. ස්කෝලෙ ඇරුණම තියෙන පොදු ගමනා ගමන බස් එකත් තමයි අපි හැමෝගෙම ස්කෝල බස්එක.. ඔය උදේට යන බස් එකෙ පළතුරු බීම ඇඩ් එකකුත්, හවසට යන එකේ ටෙලිෆෝන් ඇඩ්එකකුත් තමයි ඇඳලා තිබ්බෙ.. ඒ බස් හැදින්නුවෙත් ඒ නමින්ම තමයි..

බස් එකට අළුතෙන් එන හැමෝටම අනේ අපරාදෙ  කියලා කියන්න බෑ... එක වගේම තමයි ලොකු අයියලා ටික සලකන්නෙ.. රැග් එක අනිවාර්යයි... මං හිතන්නෙ කැම්පස් යන්න ඒ කාලෙ ඉඳන්ම ගත්ත තීරණයක්ද කොයිද.. ඔතනින් ඉතින් දන්න අඳුනන කවුරු හරි හිටියෙ නැතිනම්.. රැග් එක ටිකක් විතර දලුණු වැඩී.. ඇයි ඉතින් කියන දේවල් ඔක්කොමත් දරාගෙන ඉන්න වෙනවනෙ.. නන්දුටනම් ගෙවල් ලඟම අක්කියෙක් හිටියා හොඳවෙලාවට... ඒ විතරක් නෙමෙයි ඉතින්.. නන්දුගෙ අයියත් උසස් පෙළ කරන්න ස්කෝලෙ ගියෙ ඔය බස්එකේම තමයි.. ඔය ලොකු අයියා කෙනෙක් යන ස්කෝලෙටමනෙ නන්දුගෙ අයියත් ගිය... නිසා එයාටනම් රැග් දුන්නෙ නෑලු..

ස්කෝලෙ ළමයි ඉතින් සීසන්නෙ.. බස්එකට පය තියන්න ඕනෙ අනිත් අය ඔක්කොම නැඟලා ෂීට් ඔක්කොම පිරුණට පස්සෙ.. ඔන්න නන්දුත් දැන් අර අක්කිලත් එක්ක පළවෙනි දවසෙ ස්කෝලෙ ඇරිලා සෙනඟ පිරෙනකල් ඉදලා ඇවිත් බස්එකට නැග්ගා..  

මගක් ගියාට පස්සෙ අර ලොකු අයියා කෙනෙක් එනවා සෙනඟ පීරගෙන මේ පැත්තට.. ඔළුව වහලෙට ගෑවෙන්න අපේ බස්එකට හිටියෙ දෙන්නයි.. ඒ ‍එක්කෙකේ තමයි ඔය.. මඟදි හම්බවුණ ෂීට් එකේ ඉඳගෙන අදුරන අක්කිලගෙ ඔක්කොම බෑග් ගොන්න ‍තියාගෙන යද්දි ඉතින් පේන්නෙ බෑග් ගොඩ විතරයි.. (නීතියක් නොවුණත්, යාළුවෙක්ට ඉඳගන්න ෂීට් එකක් ලැබුණොත් බෑග් පැටවීම අනිවාර්යය වේ..) 

"නංගි ඕන් න.ල අයියා (මේ ඒ අයියට දාලා තිබ්බ කෙටි නම.. ඇත්ත නම කෙටි කරල තමාලු ඔය නම)  එනවා.. ඔයා සද්ද නැතිව ඉන්න.." 
මේ මගෙ අඳුරන අක්කා හෙමීට මාව බෑග් ගොඩ අස්සෙන් හොයලා කනට කරලා කිව්ව උපදේසයක්.. අනේ මමත් ඉතින් සද්ද නොකර ඒ උපදේසයම පිළිපැද්දා.. ඔළුව එහෙ මෙහෙ හරවන්නෙ නැතිව.. කීකරු බළල් පැටියෙක් වගේ.. පැත්තට තිබුණ වීදුරුවෙන් එළිය බලාගෙන.. අ‍පිට විරුද්ධ පැත්තට යන ගස්වල සුන්දරත්වය විදගෙනම..

"අහ් දැකලා නැති මූණක්.. නංගි අළුතෙන් නේද.."
 ඉවරයි.. බලන්න ඉතින්.. එකනෙ ඔච්චර උස යන්න එපා කියන්නෙ.. ජිරාෆ් වගේ බෙල්ලත් දිග් කරගෙන... අමාරුවෙන් හුස්ම පොදක් එකතු කරගත්තෙත් මේ බෑග් ගොඩ එහාට මෙහාට කරලා... සිකේ මෙහෙම අයියලා... වට පිටාවෙ සුන්දරත්වය බලන්නවත් දෙන්නෙ නැති හැටි... මමත් ඉතින් කීකරු වික්සෝප මූණක් මවාගෙන‍ නොදන්න ගානට ඒ පැත්ත බැලුවා..

"කෝ කියන්න බලන්න.. ආර්ට් ද ඩාන්ස්ද මියුසික්ද කරන්නෙ.."
 ආර්ට් නම් කලේ... කාගෙ හරි පිටකට කොලයක් තියලා එයාගෙ මූණ අඳින්න ඕනෙ.. මියුසික්නම්.. සිංදුවක් කියන්න ඕනෙ මුළු බස් එකටම ඇහෙන්න.. මේ තමයි එයාලගෙ වැඩ පිළිවෙල... ඩාන්සින්ග් නම් තමයි වැඩේ.. මං කලේ මියුසික්.. ඒත් මෙතන ඇත්ත කිව්වොත් වෙනදේ දන්නවනේ... මෙන්න ඩාන්සින්ග් කියන්න කට හද්දිම.. 

"අනේ බුදු නංගියේ ඩාන්සින්ග් නම් කියන්න එපෝ...!"
 (මේ සෙනඟ අස්සෙ මොන ඩාන්සින්ග්  නෙහ්..! ) අපි අහුවෙයි ඕවට.. අහන්න අකමැතිම උත්තරේ කියද්දි මං අඳුරන අක්කිත් එයාගෙ යාළුවොත් මං කියන්නෙ ඇත්ත කියලා එක හෙලාම කන්ෆර්ම් කරලා මාව ඒ දඩුවමෙන් නම් බේරගත්තා.. 

අළුත් සෑර්ගෙ අතිවිශිෂ්ඨ කෑම... ඔන්න ඔය බිස්කට් තමයි ගේන්න කියලා බාරදුන්නෙ පහුවදාට එනකොට මුළු බස් එකටම.. ඒ දේනම් ඉතින් අළුතෙන් එන  කාටත් අනිවාර්යයි... ඔය අළුත් සෑර් ආවම කාලෙ නෙ.. ඒකයි ඔය.. හැමෝටම දොලදුක.. :D 
අපරාදෙ කියන්න බෑ.. ඩ්‍රයිවර්අන්කලුයි,කොන්දොස්තර අයියටත් මෙයාලා දීලා බෙදාහදාගෙන තමයි කන්නෙ.. එදායින් පස්සෙ නම් හැමෝම එකම පවුලක සහෝදර සහෝදරියො වගේ තමයි.. ඔය බස් එක නැති වුණොත් අපි හැමෝම ප්‍රයිවට් බස් එකක යන්නෙත් එකට තමයි... ඊ ළඟට  බස් එකට අළුතෙන් ආව අක්කියෙක්ට නම් ගේන්න වුණේ අර අළුත් සෑර්ලගෙ චොක්ලට් බ්ස්කට් එක.. 

නංගිලා ද මල්ලිලා ද කියලා නෑ.. දෙගොල්ලොන්ටම රැග් තමයි.. මල්ලිලාටනම් ඉතින් සිංදුවක් අනිවාර්යයි.. ඒ වගේම රැග් කාලෙ ටිකක් විතර දීර්ගයි.. තරහවකට නම් නෙමෙයි.. :) රැග් කාලෙ ඉවර වුණාමනම් ඉතින් මතක් වුණාම ඕවා ගැන කියලා හිනාවෙනවා මිසක් කාවවත් පහතට දාලා කතා කරන්නෙ නැහැ.. ඇයි ඉතින් අනිත් අයත් ඒ වගේම ඒ හෝටලෙන්ම පරිප්පු කාලා තියෙනවනෙ.. :D 

"ජීවිතේ ලස්සනම කාලෙ පාසැල් කාලේ" කියලා ගොඩක් දෙනෙක් නන්දුට පොඩි කාලෙ කිව්වත්... ඒ කාලෙ නන්දු අකමැතිම කාලෙ වුණෙත් පාසැල් කාලෙ.. ඒත් අද.. එදා තිබුණ ඒ සුන්දර කාලෙ ගොඩක් ආදරයෙන් ආවර්ජනය කරනවා... ඒ පහුවෙලා දැනුන පාසැල් ජීවිතයේ සුන්දරත්වයත් එක්ක.. :)

ඈහ් දැන් නන්දුගෙ අයියා කෝ කියලානම් අහන්න එපා.. එයාට මේවට අත දාන්න තහනම්නෙ.. අනික අයියයි මමයි එකම බස් එකේ ආව ගියාට අළුත් නිසා අයියගෙ නංගි බව දැන ගත්තෙ ටිකක් කල් ගිහින්... ඒ දැනගෙනත් ඒකෙනුත් ගැලවීමක් නැති වුණේ මට.. ඒ කොහොමද කියලා ඊ ළඟ කොටසින් කියන්නම් හො‍‍‍ඳේ... :)

01 October 2011

දඟකාරයි හැඩකාරයි සමනළයින් වගේ... ~ පුංචි සමනල් පැටවුන්ගෙ ලස්සන හෙටකට ආදරයෙන්...


"අද අපේ දවස නේද...?" 
"මොන..? අද සෙනසුරාදා නොවැ... අද පංති දවසක්නෙ.. ආයෙ ගෙදර එන්නෙ හවසට..."
 ලස්සන අළුත් දවසක ආරම්භක ඇහිපියට අද තවත් එක් දවසක් විතරක් කරන්න ඉඩ තියන්න එපා... හිරිගඩු පිපෙන සීතලක, පළවෙනි අව්රැල්ලත් එක්ක පිනි වැටෙන දිහා බලාගෙන හිටිය.. ඒ දේ හදවතින්ම වින්ද යාළුවොත් එක්ක දුවලා පැනලා ඇවිද්ද ළමා කාලයක් නන්දුටත් තිබුණා... නත්තල් සීයා එනකල් තෑගි ගන්න රෑ පාන්දර වෙනකල්ම ඇහැරගෙන හිටිය.., උණ පඳුරු කපාගෙන ඇවිත් කාටවත් නොපෙනෙන්න කාමරේට වෙලා ලොකූ වෙසක් කූඩු හැදුව.., ගෙදරට හොරෙන් යාළුවොත් එක්ක පොන්ගල් බත් කන්න ගිය.., ඉස්කෝලෙ පොකුණෙන් ලස්සන සාරිගප්පි ගෙනාව... මල්ගස් වලට තනියෙන් කතා කල, කෝටුවක් අරගෙන තැලුව.. වෙලේ වැටි වැටි සරුංල් ඇරිය ලස්සනම ලස්සන කාලයක්...කියන්න ‍ලියන්න තව කොයිතරම් නම් සුන්දර දේවල් තියෙනවද...



කාලයත් එක්ක වෙනස් වෙන ලෝකෙ අද අපිට දුවන්න වෙලා තියෙන්නෙ සරුංගල් පස්සෙ නෙමෙයි.. අල්ලන්න වෙලා තියෙන්නෙ දංඩි පැටව් නෙමෙයි... හොයන්න වෙලා තියෙන්නෙ හැංගුණ හැංගිමුත්තො නෙමෙයි... අපි අපිවම නේද... හොඳයි පොඩ්ඩක් හිතලා බලන්න.. O/L, A/L ,Uni පටන් ගන්න කලින් හිටිය කෙනාමද ඔය ඉන්නෙ කියලා... ඒ සැහැල්ලුවෙන්මද ඉන්නෙ කියලා... තරඟකාරී ලෝකෙක අපිත් නිකන්ම තර‍ගයට දුවන අය වෙලා... මං කියන්නෙ නැහැ වෙනස් වෙන ලෝකෙ අපි එක තැන ඉදගෙන ඉන්න ඕනි කියලා.. ඒත් හිතන්න... අද පුංචි පැටවුන්ට දරාගන්න පුළුවන් කොටසක්ද පවරලා තියෙන්නෙ ඒ පුංචි හිත්වලට.. පෙර පාසැලෙන් එළියට එන්නෙ ශිෂ්‍යත්ව උපකාරක පන්ති වලට දක්කන්න බලාගෙන.. හිතේ පැලපදියම් වෙන්නෙ සාමලා අමරලා නෙමෙයි.. මහ බර ඉලක්කම්... බොළද වුණත් පුංචි කාලෙ අපි බලාගෙන හිටිය නත්තල් සීයලා, දිගට රැළි දැම්ම වෙසක්කූඩු හරහා අපි කොයිතරම් දේවල් ඉගෙන ගත්තද‍‍.. කවදාවත් පාඩම් කරලා.. පොතේ පතේ නොතිබුණ.. සල්ලි වලට ගන්න බැරි ආදරය.. එකමුතු කම.. බෙදා හදාගැනීම්... අත් හුරුව...(ප්‍රායෝගිකත්වය) දුක සතුට එකට දරාගැනීම්.. අද පුංචි පැටවුන්ට කොයින්ද මේ ජීවිතේ පාඩම් වලට ඉඩක්...? කොන්ක්‍රීට් වනාන්තර අස්සෙ හිරවුණ පුංචි සිත් පොඩින්ට උදේ රැයින් ඇහැරිලා කොන්දත් දෙකට නමාගෙන ලොකු පොත් මිටියත් එක්ක පොර බදන දඩුවමට සිතාසි නිකුත් කරලා තියෙන්නෙ කවුද..?



බිතෝවන්ට, ක්ෂේස්පියර්ට වඩා දක්ෂයින් බිහිවෙන්නට පිපිණු මේ කැකුළු හිත් වලට ගිරවුන්ගෙ න්‍යාය දාලා... පොඩියක් හිතන්න... අපි ගණනක් පොත බලන් 100 පාරක් හදලා.. ඒ සමීකරණය ටිකක් වෙනස් කරලා ඉලක්කම් එහාට මෙහාට කරලා දෙනවා.. ඔය ගිරව් න්‍යාය දැම්ම කී දෙනාට හරියට ගණන හද‍න්නෙ.. දෙමව් පියන් පොවන්න හදන පෙන්වන්නට උත්සහ දරණ මේ ලෝකයෙන් පිට බාහිර ලෝකයේ රස දරුවට වැටහුණොත්.. දෙමව්පියන්ට නැතිවෙන්නෙ තමන්ගෙ හීන විතරක් නෙමෙයි.. තමන්ගෙ හීන ජීවත් කරන්න හිටිය දරුවවත්...
"ඔයාට බැරිවුණානෙ අර ළමයට වඩා ලකුණු ගන්න.." "බලන්න අර ළමයා පන්තියෙ පළවෙනියා.." "එයාට පුළුවන්නම් ඔයාට ඇයි බැරි..?" මේ අපි කාටත් පුංචි දවස් වල අප්‍රිය කසායේ වචන ටික... ඊළඟට අයියෝ.. ඔයා සාමාන්‍ය පෙළ ගණිතය ෆේල්.. දැන් ඉතින් අපේ නම්බුවත් ඉවරයි.. කොහොමද නෑදෑයින්ට මූණ දෙන්නෙ..? අනිත් විභාග ගැන මං කියන්න යන්නෙ නැහැ.. ඇයි මේ...? ඔබගෙ හීන නිසාද...? ඇත්ත ඔබ නැති කලක ඔවුන්ට හොඳ දවසක් උදාකරන්න ඔබ දරණ උත්සහය අමිලයි.. ඒත් ඇයි එක හොඳක් දකින්න බැරි.. ඒ ළමයා විභාගෙට වාඩිවුණ එකම ලොකු ජයග්‍රහණයක් නෙමෙයිද..? අපි කවුරුත් අකමැතියි නේද පරදිනවට.. කවුරුවත් අසමත් වෙන්න විභාග ලියන්නෙ නැහැනෙ... අධ්‍යාපන විභාග වලින් ජය අරගෙන ජීවිතයේ එක විභාගයකින් පැරදුනොත්..! බහුතරයකගෙ විසදුම සියදිවි හානිය.. දුක දරාගැනීම ගැන කොයිපොතේද තිබුණෙ නේද..? පුංචි පුංචි දේවල් වලින් මහ ලොකු විනාශයන් ඔවුන්ගෙ ජීවිත වලට වෙද්දි ඔබ ඔවුන් ළඟ නොයිදින්නට පුළුවන්.. අතින් අල්ලගෙන පාර පෙන්වන්න.. මේ දේවල් ඔවුන්ට විතරක් නෙමෙයි.. ඔවුන්ගෙ දරුවන්ටත් බලපාවි..



හැම අවුරුද්දෙම අද වගේ දවසක පාසැල් තිබුණොත් එදාට ඉගෙන්නිලි නම් බොරු අපේ ස්කෝලෙ.. එදාට ගුරුවරුන් එක්ක මුහුදු වෙරළට අපි හැමදෙනාම යනවා...  එදාට ස්කෝලෙ ගානෙ මුළු ඉස්කෝලටම අයිස්ක්‍රීම් පාර්ටියක්... ගුරුවරුන් එක්ක නිදහසේ ළමයින්ට කතා කරන්න පුළුවන් දවසක්... මෙහෙම දවසක මට මතකයි අපේ පන්ති බාරව හිටිය රෝහිණී මිස් කිව්ව එක දෙයක්... "පන්තියෙ හැම ළමයටම පුළුවන් පළවෙනියා වෙන්න.. පන්තියෙ ළමයි 35 දෙනාම පළවෙනියට ආවොත් කවදාවත් ගුරුවන්ට බැහැ ඒ ප්‍රථිඵලය නොදී ඉන්න.." ඇත්තටම මං ඉගෙන ගත්ත පාසැල් වලින් ළමයින් එක්ක සුහදව හිටිය ගුරුවරියක් ඇය.. දෙවන මව්පියන් හැටියට ගුරුවරුන්ටත් ළමාලෝකයේ ළමා කාලය ගැන යම් වගකීමක් තියෙනවා... දෙමව්පියන්ගෙන් පස්සෙ දරුවන් වැඩි පුර ගැවසෙන්නෙ, කාලෙ ගතකරන්නෙ ඔබත් සමඟ... ඇත්ත තියෙන වැඩ කන්දරාවත් එක්ක එක එක ළමයට පෞද්ගලිකව වැඩි අවදානයක් යොමු කරන්න කාලයක් හොයාගන්න බැරි බව.. ඒත් විමසිල්ලෙන් ඉන්න.. පුංචි මල් කැකුළු වල හැම ඉරියව්වක්ම හ‍දවතේ යම් දෙයක් ප්‍රකාශ කරනවා.. සමහර විට ගෙදරින් නොලැබෙන සෙවන ඔබෙන් බලාපොරොත්තු විය හැකියි.. ගහලා, බැනලා, සැර කරලා, කොන් කරලා කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා ඔබගෙ යුතුකම් හා වගකීම් ඔවුන් වෙතින් ඉටුවෙයි කියලා..
මට මතක් වුණේ පැරණි කවියක්..


"බැරි දේ දරුවන්ට හරි හැටි කියා නොදී
බැටදේ නම් ක‍ල දේ යැයි වැරදී
කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී
මෙරට ගොනුන් පඬුවන් වනු ඇත ළඟදී.."

හැමදෙයක්ම වෙනස්වෙන තරඟකාරී ලෝකයේ අපි එකතැන ඉන්න ඕන කියන එකනම් නෙමෙයි මම කියන්නෙ... ඒත් පුංචි දරුවන්ගෙ ‍ළමා කාලය.. ඒ සිතුම් පැතුම් හරි වටිනවා..ලොකු වුණාමත් ඒ අය මතක් කරන්නෙ ළමාවියේදි ලැබුණ අත්දැකීම්, ගුරුහරුකම් වලින් තමන්ගෙ ජීවිතේ ගොඩනගා ගන්න එක.. පළවෙනි අත්තිවාරම ශක්තිමත් නැතිනම්.. පලුදුනම්.. කොහොමද ඒ මත ශක්තිමත් අනාගතයක් හදන්නෙ.. දරුවට යන්න පුළුවන් හැම ඉසව්වකටම පාර පෙන්වන්න.. හොඳ නරක ආදරයෙන් කියලා දෙන්න.. අදහස් බෙදා ගන්න.. ඒත් බලෙන් තල්ලු කරන්න එපා.. ඔබේ හිතේ ඉන්න කෙනාව උපදවන්න ඒ දරුවගෙ හීන මරන්න එපා.. ඔවුන්ගෙ හිතේ ධෛර්යයෙන් නැගිටින්න කියලා දෙන්න.. බලන්න ඔවුන් ඔබටත්, රටටත් ලොවටත් ඔබේ නම බබලන හැටි...
අපේ දිනයේ අපි ගැන කතා නොකලොත් ලොකු අඩුවක් නේද.. අපි පුංචිම පුංචි කාලේ ... ඒ කියන්නෙ කිරි දත් එන්න කලින් කාලෙ.. ඊට පස්සෙත් අපි ගොඩක් දෙනෙක්ට මතක නැතිව ඇති... ඒත් මේ හැම දෙයක්ම අපේ දෙමව්පියන්ට මතකයි.. අපි ශරීරයෙන්.. අපේ අදහස් වලින්... වගකීම් වලින් සන්නද්ධ වෙද්දි... අපිව මේ තත්වයට ගෙනෙන්නට කැපකිරීම් කල.. අපේම දෙමව්පියන්ගෙ අගය අපිට අමතක වෙන්න පුළුවන්.. මේ short films වලින් මං ආසම ලස්සන තේරුමක් තියෙන එකක්... මේ පුංචි සිතුවිල්ල ඔයාලගෙ පුංචි හිතට බාරයි..!



එහෙනම්.. සතුටින් පිරුණු හෙට දිනක පුංචි සමනල් පැටුන්ට අළුත් ලෝකයක් උදාවෙන්න සු පැතුම්....!!!!  නන්දුගෙනුත්..